පුදුම මල් වැල්
වැසි දසන්තය විඩා අහවරව
පැහැබරම අහසක සැඟව ගිය පසු
මල් ගැවසි කොළ බරිත විලක් අසලට ගියෙමි
හඬන්නට කියා මම
හිත හිතූ හැටියක
පලමු බිඳුවක් නොවෙයි
ගැලුවේ
ඇස් කෙවෙනි අගිස්සෙන්
මල් වැලක්..
හඬන්නට හඬන්නට කඳුළු හේ ගලන්නේ
රතු පාට මල් පිපෙන
මල් වැලක්..
ලඟ තිබූ කතුරකින්
කපා දැමුවෙමි ඇහැ මුලින්
එහෙත්
හැඬෙන්නට හැඬෙන්නට
ලියලුවා මල් වැලක්..
රතු පාට මල් පිපෙන
මල් වැලක්..
හැඬුවෙමි නිදහසේ
ශෝකයේ මුල් උදුරා ගැලවෙන තුරු..
මුව පුරා වසා ගත්
මල් වැලක්!
රතු පාට මල් පිරුණු
මල් වැලක්..
විල අසල මා හොවා
මුළු සිරුර වසාගෙන
රතු පාට මල් පිපෙන
මල් වැලක්!
@anjaliherath
Comments
Post a Comment