කාලාවකාශතර ප්‍රේමය | The Love in between Time and Space

 


හිස් අහස මහ පොලොව 

හිඳින දුර වැඩි

නිහඬ වදනට නිතර 

පැලෙයි කන් අඩි

ලොවක් ඇස් යොමන විට 

හද ගැස්ම වැඩි

ඇස් වලට පුලුවන්ලු 

තියන්නට වෙඩි

වචන නම් මොනවටද 

ගලපන්න ඔහේ

සිඹුම් නම් මොනවටද 

තෙරපන්න ඉහේ

රිදුම් නම් මොනවටද 

හදවතේ පැහේ

සද්දයක් වත් නැතුව 

හදවතත් ගැහේ

ඉද හිටක වැසි හලන 

ගොලු අහස ඉබේ

අනෝරා වැසි සලයි 

දෙගම්බඩ දිගේ

ඉරි තැලුණු තැන සුවඳ  

ඇත සතුටු මඩේ

තව නියං හත අටක 

වෙහෙස් ඉන් මැඩේ

සංසාරෙන් එක දවසක 

මතකය මල් පිපේ

රූප මවන කැඩපත මැද  

සිනමාවකි අපේ

මැරුණු වචන මල් වඩවයි 

ආත්මයක ඔපේ

පපුව පිරෙන සුසුමෙන් අද 

කැඩපත මට සිපේ

වාත්තු කළ මල් උයනත් 

වෙනද වගේ හොඳයි 

සාත්තුවක් නැති වනයත් 

වැස්සෙන් පන ලබයි

මාර්තුවක අවසානය 

ඇහැල මලක් තමයි... ඒත්

කාර්තුවක් නැති ලෝකෙත් 

ලස්සන මල් පිපෙයි..


 deshanianjaliherath

Comments

Popular Posts