ආත්මයෙන් කොටසක් | A Little Part Of The Soul
මට මා සතුය කියා කිසිවක් නොමැත
එහෙත්
ශීතල රාත්‍රීන් හි ලොමුදැහැගැන්වෙන රෝමකූපයක
ගුප්ත සෘජු බව දැක මම සසල වෙමි
මට මා ඇතුළාන්තයේ හමුවන
මගේම නිහඬබව තුළ
සමාදානයේ සැතපෙන්නට සිතෙයි
යමෙකු හෝ යමක් මා හැර යන විට
එය මගේම ආත්මයේ කොටසක් ද රැගෙන යන බව
එම නිහඬ බව මට උගන්වයි
අඳුරෙහි නිහඬ බව තුල
රෝගී ආශ්වාස ප්‍රාශ්වසයන් හි දෝංකාරය මට ඇසේ
මාගේ ශරීරය කෙමෙන් දෝත පා ඉල්වන
මහපොළොවක් ඇත
මහපොළොව සිය ලෝකය තුල
රියන් සයක ඉඩකඩක් සකසාගෙන
මා පැමිණෙන මොහොත තෙක් මග බලා සිටියි..
මග බලා සිටීමට මහපොළොවට ඇති හැකි කම
මට දරා ගත නොහැකිය
මට එය මාගේ මරණය යැයි
කිව නොහැක
ගණනය කල නොහැකි කාලයක් ද
ගණනය කල නොහැකි දුරක් ද
ගස් දෙකක් අතර ඇති බව
මහා පොලොව පිළිගත යුතු ය..
හොඳම ජීවිත අස්වැසිල්ල නම්
ආත්මය පරිවර්තනය කල හැකි වීම ය.
මට මා ගන්ධබ්බයෙකු යැයි දැනෙනා මොහොතක
මා පවතින බව මට මතක් කර දෙන්නේ
ඔබේ ඒ මතකයයි.
deshanianjaliherath
Comments
Post a Comment