හදවත,අපි ටිකක් හිඳගමුද අර අතන? | Dear Heart, Shall we sit there for a moment?

පුටු දෙකක් ඇදගෙන

මුහුණට පෙනෙන සේ මුහුණ

අවන්හල් කෙළවරක්

අල්ලා ගතිමු අප

බීර..? කෝපි..? තේ..?

හදවත මොනවද බොන්නෙ?

කෝපි..

ළමයා... අපිට කෝපි දෙකක් ගේන්න..

ඉතින් කොහොමද..?

වරදක් නැහැ..

කාලයක් බලන් උන්නා මම

ඔබව හමුවන්න

"කෝපි එක සර්.."

"ස්තූතියි.."

ඉතින් ඔබ දැන්

මම ගැන පවසන්න...

හදවත කෝපි උගුරක් ගෙන

මගේ දෑස් දෙස සෘජුව බලා

දිගු සුසුමක් හෙලුවාය...

ඔබ දන්නේ මොනවද..

මම ගැන?

මම ගැන?

ඔව්..

මම දන්නේ.. ඔබ මගේ හදවත..

එපමනද..? එහෙනම්

දැනගන්න..

ගිලී යට ගිය ලේ නහර තුළ

සිඳී හැකිලී යළිඳු මතු වන

හැඟුම් ඇති බව නුඹට වැඩි මට

දනිමි මම

ජීවිතය ගැන මහා ගැඹුරට..

විසල් සතුට වේදනාවද

ලේ නහර කුටි දරන හැටි මා

ඔබ දකින්න ..අද දකින්න..

හදවතක් ලෙස විඳිමි එසතුට..

අසන්නට අවසරද පැනයක්?

හොඳයි...

කිමද සිතුනේ අවන්හලකටරැගෙන එන්නට මෙමා බහකට?

කිසිඳු කිසිදා ඇසින් නොම දුටු

එහෙත් බර යම් දෙයක් ඇති බව

දැනුනු දා සිට ඔබත් සමගින්

මෙළෙස පැමිණෙන්නට සිතුනි මට

කාලයේ දිගු ගමන් පීරා

ජීවිතය මහ දුරක යන විට

ඇත්තටම මම පමා වූවා

මගේ හදවත සමා දෙන් මට...


  deshanianjalikaherath

Comments

Popular Posts